Back to home
Alerte infoArt and Culture

"රිවස්ටන්" ජීවිතය කියවන දේශපාලනික කාව්‍යයක්.

"රිවස්ටන්" ජීවිතය කියවන දේශපාලනික කාව්‍යයක්.

රිවස්ටන් මෑත දශකය තුල බිහිවු පරිපූර්ණ සිනමා නිර්මාණයක්. නිර්මාණ පරිපූර්ණවත් සම්පූර්ණවත් වෙන්නේ නැහැ. ඒත් රිවස්ටන් ගැන  මම එහෙම කතා කරන්න කැමතියි. 


ජීවිතය සහ ඊට අනුබද්ධ වූ දේශපාලනය. චිත්‍රපටියකින් නිර්මාණය ට මුසුවීමේදී බොහොවිට එකක් ගිලිහිගොස් එකක් මතුවීම දක්නට ලැබෙනවා. රිවස්ටන් චිත්‍රපටියේ ඒක හරි මාත්‍රාවට ගැලපී තියෙනවා. 


මේ චිත්‍රපටිය මේ වගෙ හදගැස්ම කලඹන නිර්මාණයක් බවට පත්වෙන්න ප්‍රධානම හේතුව තමයි, මේ චිත්‍රපටියේ වස්තු බීජය සහ එය විකාශනය කරලා තිබ්බ ආකාරය. 


නිලන්ත පෙරේරා සහ ලලිත් රත්නායක  මුසුව අපූරුයි. පිටපතක මූලික වශයෙන් අදියර තුනක් දක්නට ලැබෙනවා. වස්‍තු බීජය, එය දිගහැරෙන ආකාරය, එනම් එහි  (craft) එක, චරිත වල ජීවිතය විවරණය කිරීම සහ එයටම අනුබද්ධ වූ  දේශපාලනය හසුකර ගැනීම යන කාරණා.මේ සියල්ල ඉතා ඉවසීමෙන් රිවස්ටන් තුල ගොඩනගා තිබෙනවා.  


විශේෂයෙන් චිත්‍රපටියේ වස්තු විෂය, ඒ ඔස්සේ ගොඩ නැගුණු පිටපත, අධ්‍යක්ෂණයේ තිබුණු සුමට බව, කැමරාකරණයේ දී චරිතවල දක්නට ලැබෙන හද ගැස්ම ‍හදුනාගෙන එය රූප රාමු තුළින් මතුකර ගැනීම සහ ආලෝක කරනයේ දී ප්‍රභාත් රෝශන ප්‍රකට කළ සෞන්දර්යාත්මක ගුනය ප්‍රශංසනීයයි .


තවද සංගීතය සමස්ත නිර්මාණය හා බද්ද වෙන ලෙස යොදා ගැනීම . අනිත් කාරණාව තමයි, චරිතවල විවිධත්වය මතුවෙන අයුරින් ඉතා සියුම්ව ප්‍රතිනිර්මාණය කළ වේශ නිරූපණය. මේ සියල්ල කැටිකොට ගත් කළ මේ නිර්මාණය ලාංකීය සිනමාවේ එක් සුවිශේෂී කඩයිමක්.


මේ සියල්ලටම මූලික වූ චිත්‍රපටියේ වස්තු විෂය සහ පිටපත ගැන සදහන් කළ යුතුයි. මේ වස්තු බීජය ගැන නිලන්ත කියනකොට මට දැනුනේ මේක කෙටි චිත්‍රපටියක් ලෙසයි. ඒත් නිලන්ත සහ ලලිත් එකතුවෙලා craft කරපු චිත්‍රපටියේ යටිපෙල, චරිත සහ අවස්ථා ගොඩනැගීම විශ්මිතයි.


ඇත්තටම නිලන්ත  මේ හැඩයට ලියන කෙනෙක් නෙමෙයි. ඔහු ලියන රටාවේ ටිකක් පිස්සු ගතියක් (Out of Box) සහ අධිමාත්‍රාවක් තියෙනවා. හැබැයි මේ පිටපතේදි නම් නිලා හරියටම වැඩේට අනුගත වෙලා නිලයට ගහලා තියෙනවා.


ලලිත් තමන්ගේ සුපුරුදු කාව්‍යමය මැදිහත් වීමෙන් පිටපතේ අනුභූතිය ඩැහැගෙන තියෙනවා. මිත්‍රයෝ දෙන්නටම ගෞරවණීය ආචාර්යය. නිලන්ත හිතන විදිහ තේරුම් ගන්න හොදම අවස්ථාවක් තමයි  ශ්‍යාම් මේ අලකළංචි අස්සේ තමන්ගේ පෙම්වතිය හම්බවෙන්න යන එක. මේක හරි අපූරු පරිකල්පනීය යොදාගැනීමක්. ඒ වගේම ඊටපස්සෙ දෙන්නගේ මරාගැනීමත් මිනිස් ජීවිතයේ දෙබිඩි බව සහ ගුප්ත කලාපයන් එලිදැක්වෙන කදිම අවස්තාවක්. 


මේ ච්ත්‍රපටියේ රංගනය ගැන හැමෝම කතා වෙනවා. ඒ නිසා ඒ ගැනත් යමක් ලිවිය යුතුයි.  ඔව් හැමෝගෙම රංගනය විශිෂ්ටයි. හැබැයි මහේන්ද්‍රගෙ රංගනය අති විශිෂ්ටයි. රංගනයේ දී තියෙනවා Acting beauty කියලා කොටසක් ඒක මහේන්ද්‍ර ගානට තිතට කරනවා.


චරිතයක insight එක,  වැඩිත් නොවෙන අඩුත් නොවෙන්න සෞන්දර්යාත්මක ලෙස චරිතයෙන් එලියට ගන්න එක ලේසි පහසු වැඩක් නෙමෙයි. මේ නිරූපනයෙදි ඔහුගේ රංගන ගුරුවරයා වූ ආචාර්ය සාලමන් ෆොන්සේකා මහතා මට  මතක් වුණා. සාලමන් ෆොන්සේකා තමයි මම දැක්ක Acting beauty තිබ්බ විශිෂ්ටතම නලුවා.දැන් දැන් මහේන්ද්‍රත් රංගනයෙ ඒ මට්ටමට ඒ කියන්නේ ඊලග step එකට අවතීර්ණ වෙමින් ඉන්නවා.


අනිත් නලුවෝ තිදෙනාත් විශිෂ්ටයි. රන්දික, අම්මාවරුනේ ගීතයෙන් පස්සෙ හැගුම්බර අවස්තාවක්, ශ්‍යාම්ට "සර් කිරි ටිකක් කන්න" කියෙන කොට ඈත බලන් ඉන්න බැල්මත්, ප්‍රියන්තගෙන් ශ්‍යාම් රන්දිකත් එක්ක කතා කළේ මොනවද කියලා  ප්‍රශ්න කරන කොට ප්‍රියන්ත රගපාපු ආයුරුත් බොහෝ කාලයක් මතකයේ රැදී තියේවි. හැබැයි ආනන්ද උන්නැහෙගෙ චරිතය කාලය සහ අවකාශය ජයගන්න ගත්‍ත උත්සාහයක් විදිහටයි මට දැනුණේ. ඒත් රංගනය ඉතා හොදයි. කුඩා චරිතයක් තුල අවධානය රදවා ගැනීමේ අභියෝගය ඔහු ජය ගන්නවා. 


මේ සියල්ල කැටිකොට ගත් කල, ලාංකික සිනමා රසිකයන් මෙය නැරැඹිය යුතුම චිත්‍රපටියක්. මෙයින් ඔබේ සහෝදර ජනතාව ගැන ඔබේ හදවතෙ තියෙන සහකම්පනය තමන්ටම පරික්ෂා කරගන්න පුලුවන්.


ඒ වගේම මෙවැනි පරිභෝජනවාදී, කැත දේශපාලනික සංස්කෘතියකට ගොදුරු වන අප සැමගේ ජීවන රටාව මනුෂ්‍යත්වයට කෙතරම් දුරස්ද කියලත් අවබෝධයක් ලබාගන්න පුලුවන්. මෙම පරික්ෂාවට ඔබත් ලක්වෙන්න. විගස රිවස්ටන් තිරගතවන සිනමා ශාලාවකට පිවිසෙන්න.



රුවන් ජයනාත්✍️