Back to home
Alerte infoDefense

ජනපතිතුමණි, ප්‍රවේශමෙන්... Millennium City පන්නයේ පාවාදීමක් අත් ළඟ....

ජනපතිතුමණි, ප්‍රවේශමෙන්... Millennium City පන්නයේ පාවාදීමක් අත් ළඟ....

ශ්‍රී ලංකාවේ බුද්ධි අංශ ඉතිහාසයේ සිදු වූ දරුණුතම සහ අවාසනාවන්තම සිදුවීම ලෙස මිලේනියම් සිටි (Millennium City) පාවාදීම හැඳින්විය හැකිය. මෙය හුදෙක් දේශපාලන පළිගැනීමක් පමණක් නොව, දශක ගණනාවක් තිස්සේ ගොඩනැඟූ ජාතික ආරක්ෂක ජාලය මුලිනුපුටා දැමූ මාරාන්තික පාවාදීමකි.



මිලේනියම් සිටි පාවාදීමේ ඉතිහාසය....



2002 වසරේ ජනවාරි 2 වන දින, අතුරුගිරිය මිලේනියම් සිටි නිවාස සංකීර්ණයේ පිහිටි යුද හමුදා බුද්ධි අංශයට අයත් ආරක්ෂිත නිවාසයක් (Safe House) පොලිස් කණ්ඩායමක් විසින් වටලනු ලැබීය. එකල පැවති දේශපාලන වාතාවරණය මත, එවකට විපක්ෂයේ සිටි දේශපාලනඥයන් ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කරන ස්ථානයක් ලෙස මෙය හංවඩු ගැසූහ.


නමුත් සත්‍යය වූයේ, එය එල්.ටී.ටී.ඊ. (LTTE) සංවිධානයේ ප්‍රබලයන් ඉලක්ක කරමින් ක්‍රියාත්මක වූ "දිගු දුර විහිදුම් බලකායේ" (LRRP - Long Range Reconnaissance Patrol) බුද්ධි මෙහෙයුම් මධ්‍යස්ථානය බවයි. මෙම වැටලීමත් සමඟ අතිශය රහසිගතව පවත්වාගෙන ගිය බුද්ධි තොරතුරු, ආයුධ සහ නිලධාරීන්ගේ අනන්‍යතාවය ප්‍රසිද්ධියට පත් විය.



අහිමි වූ බුද්ධි නිලධාරීන් සහ ද්‍රෝහීකමේ මිල......



මෙම පාවාදීමේ සෘජු ප්‍රතිඵලයක් ලෙස එල්.ටී.ටී.ඊ. සංවිධානයට තමන්ව දඩයම් කළ "මාර දූතයන්" කවුදැයි හඳුනා ගැනීමට හැකි විය. ඉන් අනතුරුව ආරම්භ වූයේ බුද්ධි නිලධාරීන් දඩයම් කිරීමේ ම්ලේච්ඡ මෙහෙයුමකි. මිලේනියම් සිටි පාවාදීම හරහා ජාතික ආරක්ෂාවට එල්ල වූ බලපෑම සුළුපටු නොවේ.


ඒ නිසා සතුරාගේ බල ප්‍රදේශ තුළට ගොස් තොරතුරු රැස් කිරීමේ හැකියාව හමුදාවට අහිමි විය. එසේම හමුදාව වෙනුවෙන් තොරතුරු සපයන සිවිල් වැසියන් සහ ඔත්තුකරුවන් රජය කෙරෙහි තිබූ විශ්වාසය අතහැර දැමූහ. තවද බුද්ධි අංශ අකර්මණ්‍ය වීම නිසා එල්.ටී.ටී.ඊ. සංවිධානයට දකුණේ බෝම්බ පිපිරවීම් සහ ප්‍රභූ ඝාතන සැලසුම් කිරීම වඩාත් පහසු විය.



බුද්ධි අංශ රහස්‍යභාවය හෙළි කිරීමේ භයානකකම........



යුධ හමුදා බුද්ධි අංශයක් යනු ඕනෑම රටක ජාතික ආරක්ෂාවේ රහසිගතම ස්ථරයයි. බුද්ධි අංශ සාමාජිකයින්ගේ ඡායාරූප, ආවේක්ෂණ තොරතුරු, සහ බුද්ධි තොරතුරුවලට අදාළ දර්ශන මාධ්‍ය මගින් ප්‍රසිද්ධ කිරීම යනු සතුරාට ඉලක්කය පෙන්වා දීමකි. බුද්ධි නිලධාරියෙකුගේ මුහුණ හෝ නිවසක් ප්‍රසිද්ධ වූ සැණින් ඔහුගේ සහ ඔහුගේ පවුලේ සාමාජිකයින්ගේ පවා ජීවිත අවදානම මතු වේ. මෙය වෘත්තීය මාධ්‍යවේදය නොව, සෘජු “දේශද්‍රෝහී" ක්‍රියාවකි. සතුරාට කළ නොහැකි වූ විනාශය මෙවැනි හෙළිදරව් කිරීම් මගින් සිදු වේ.



සාලිය ටී සහ තවත් දේශද්‍රෝහීන් ගේ බුද්ධි අංශ ඉලක්කය........



මෑත කාලීනව 'සාලිය ටී සහ යුද හමුදාවෙන් ඉවත් කළ දූෂිතයින්' සමාජ මාධ්‍ය හරහා හමුදා බුද්ධි අංශ ඉලක්ක කරමින් සිදු කරන ප්‍රකාශ, ජාතික ආරක්ෂාවට බරපතල තර්ජනයක් බවට පත්ව තිබුණි. මේ වන විට සාලිය ටී නැමැත්තා තායිලන්තයේ දී අත්අඩංගුවට ගෙන රැඳවුම්භාරයේ සිටින නිසාවෙන් යුද හමුදාවේ සිටියදී විවිධ වූ දූෂණ චෝදනාවන්ට ලක්ව යුද හමුදාවෙන් නෙරපන ලද මල් සින්දුකාරයකු සහ අපචාරවල නිරතවූවන් මේ නිර්ලජ්ජිත වැඩකටයුතුවල මේවන විට නිරතව සිටී.


යුද හමුදාවෙන් නෙරපන ලද ඒ මල් සින්දුකාරයා රවීන්ද්‍ර මීගමආරච්චිය.⁣ මොහු මේ වන විටත් සමාජ මාධ්‍ය භාවිතා කරමින් හමුදාපතිවරයාට එරෙහිව අසත්‍ය ප්‍රවෘත්ති සමාජගත කරමින් හා හමුදා බුද්ධි අංශයට අනුයුක්තව සේවය කරන නිළධාරීන් ගේ ඡායාරූප සමාජයට නිරාවරණය කරමින් සිටී. 


අප වෙත හෙළි වූ ආකාරයට මීගමආරච්චි මේ සඳහා යොදා ගෙන ඇත්තේ තායිලන්තයේ අතරමැදි කඳවුරක රඳවා සිටින සාලිය ටී නැමැත්තා⁣ගේ අන්තර්ජාල ගිණුමය.



ඥානා අක්කාගේ 'කොට්ටෝරුවා' සහ සාලිය ටී ....



හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂගේ අවදි⁣යේදී මේ මීගමආරච්චි නමැත්තා අනුරාධපුරයේ ඥානා අක්කාගේ දේවාලයේ කොට්ටෝරුකම් වලට යොදවා සිටි ඇයෙකි.⁣ ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ  අගමැති සිහිනය⁣ට පාර හදා  දෙන ගුරුකම් කටයුතු සම්බන්ධීකරණය කරමින් සිටියේද මේ හාදයා ම ය. ඒ දිනවල ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා විසින් මොහුව කැබලිත්ත දේවාලයේ බාරකරු වශයෙන්ද පත් කරන ලදී. කෙසේවෙතත් ජාජබ ආණ්ඩුව පත් වීමත් සමගම විනය විරෝධී හමුදා ක්‍රියාකාරම් හේතුවෙන් මොහු ⁣හමුදා සේවයෙන් නෙරපා හැරිණි.


සාලිය ටී යනු මෙරට ජාතිවාදී ක්‍රියාකාරකම් වලට සම්බන්ධව සිට මුල්‍යමය වංචා සම්බන්ධයෙන් චෝදනා ලැබූ අපරාධකරුවෙකි. විදේශයකට පලා ගිය මොහු ඇතැම් අවස්ථාවල පෙනී සි⁣ටියේ හමුදාවේ සේවය කළ කොමිෂන් නිළධාරියෙකු ලෙසය. අඩුම වශයෙන් හමුදාවේ "බට්ලර්" කෙනෙකු ලෙසවත් සේවය කර නැති මොහු තමන් ⁣හමුදාවේ සේවය කළ කොමිෂන් ⁣නිළධාරියෙකු බවට ප්‍රකාශ කරන ලද්දේ තක්කඩි කමින් සිවිල් සමාජ තත්වයක් ගොඩ නගා ගැනීමට මිස අන් යමකට නොවේ.


වර්තමානයේදී තායිවානයේ අතරමැදි කඳවුරක රඳවා සිටින සාලිය ටී නැමැත්තා සමග මීගමආරච්චි සම්බන්ධවී ඇති බවට අප වෙත තොරතුරු ලැබී තිබේ. කෙසේ වෙතත් මේ ජෝඩුව හමුදා බුද්ධි අංශයේ තොරතුරු සමාජගත කරමින් සිටීම ඉතා බරපතලව සිතිය යුතු කාරණයකි. 



බුද්ධි අංශයට සම්බන්ධ කොටළුවා.......



මෙහිදී හමුදාවට එරෙහිව විවිධ අසත්‍ය චෝදනා නගන මේ කණ්ඩායමට හමුදා බුද්ධි අංශයට සම්බන්ධ නිළධාරීන්ගේ ඡායාරූප හා තොරතුරු සපයන හමුදා බුද්ධි අංශ මේජර්වරයකු පිළිබඳව ද අපට තොරතුරු ලැබී තිබේ. 


මේ හමුදා මේජර්වරයා හමුදා බුද්ධි ජාලය තුළ ප්‍රසිද්ධව ඇත්තේ පෙත්සම්කාරයකු ලෙසය. හෙරොයින් ජාවාරම්කාරයකු සමග සම්බන්ධව ගනුදෙනු කරන ලදැයිද එක් අවස්ථාවක මොහුට එරෙහිව චෝදනා නැගී ඇති බවට ද අපට තොරතුරු හෙළි විය.


මේ අතරේ, හමුදා බුද්ධි අංශය පිළිබඳව අසත්‍ය තොරතුරු සමාජගත කරන කුමන්ත්‍රණකාරීන් විසින් තෝරාගත් හමුදා බුද්ධි අංශ නිළධාරීන් කණ්ඩායමකට පහර දෙමින් සිටින බවද පෙනී යයි. ඒ සඳහා මොවුන් භාවිතා කරන හොඳම තුරුම්පුව "සලේගේ ගෝලයන්" යන්නය.


සලේ ගේ ගෝලයන් යන්න හැදින්වීමෙන් වර්තමාන ආණ්ඩුවේ නායකයන් ඒ පිළිබඳව ඉතා බරපතල ලෙස අවධානයට ගන්නා බවට ⁣මොවුන් දනී. දක්ෂ හමුදා නිළධාරීන් බුද්ධි අංශයෙන් එළවා දැමීමට මේ කුමන්ත්‍රණකාරීන්⁣ ගෙන යන එම තක්කඩි සැළසුම බුද්ධි ප්‍රධානීන් වටහා⁣ නොගත හොත් හමුදා  බුද්ධි අංශය  බිමට සමතලා වෙන්නට ඉඩ ඇති බවට අපි අනතුරු අඟවමු.



මුදලට යට වූ මාධ්‍යවේදී හිඟන්නෝ.....



එසේම, මොවුන්ගේ මුදලට යටවූ තවත් පිරිසක් මාධ්‍යවේදීන් ලෙස පෙනී සිටින අතර, ඔවුන්ගේ ඉලක්කය වී ඇත්තේ ද හමුදාව කෙරෙහි මහජන අප්‍රසාදය ඇති කිරීම සහ බුද්ධි නිලධාරීන්ගේ මානසිකත්වය බිඳ දැමීම බව පැහැදිළිය. එසේම කිසිදු පදනමක් නැති චෝදනා එල්ල කරමින්, බුද්ධි අංශ සාපරාධී කල්ලි ලෙස හංවඩු ගැසීම හරහා සිදු වන්නේ නැවත වරක් රටේ ආරක්ෂක ව්‍යුහය අනතුරේ හෙළීමකි.



ජාතික ආරක්ෂාව බිඳ දැමීමේ සැඟවුණු අරමුණ......



මොවුන් බුද්ධි අංශ අඩපණ කර ජාතික ආරක්ෂාව බිඳ දමා රට නැවතත් "ලේ විලක්" කිරීමට උත්සාහ කරන්නේ යළි අන්තවාදී සහ බෙදුම්වාදී මතවාද පෝෂණය කිරීමටත් ආරක්ෂාව බිඳ වැටුණු විට ජනතාව භීතියට පත් වන අතර, එය දේශපාලන බල පෙරළි සඳහා අවස්ථාවක් කර ගැනීමටත් බව පැහැදිළිය.


මිලේනියම් සිටි සිදුවීමේදී අප උගත් කටුක පාඩම වන්නේ, බුද්ධි අංශයක රහස්‍යභාවය පළුදු කිරීමට ඉඩ දීම යනු සමූහ මනුෂ්‍ය ඝාතනයකට පාර කැපීමක් බවයි. වර්තමානයේ මාධ්‍යවේදීන් ලෙස පෙනී සිටිමින්, සාලිය ටී සහ ඇතුළු යුද හමුදාවෙන් ඉවත් කළ දූෂිත පුද්ගලයන් දියත් කරන "සමාජ මාධ්‍ය ත්‍රස්තවාදය" හමුවේ රජය සහ නීතිය ක්‍රියාත්මක විය යුතු ආකාරය තීරණාත්මක වේ.



"මාධ්‍ය නිදහස" සහ "දේශද්‍රෝහීත්වය" වෙන්කර හඳුනා ගැනීම.......



මාධ්‍ය නිදහස යනු රටක රහසිගත බුද්ධි තොරතුරු විකිණීම හෝ බුද්ධි නිලධාරීන් ඉලක්ක කර අසත්‍ය ප්‍රචාර පැතිරවීම නොවේ. බුද්ධි අංශවල ව්‍යුහය හෙළිදරව් කරන සහ ඔවුන් අපරාධකරුවන් ලෙස සමාජගත කරන ඕනෑම අයෙකුට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගත යුතුය. මොවුන් "බැඳ දැමීම" යන්නෙන් අදහස් කරන්නේ ඔවුන්ගේ විනාශකාරී මතවාද පාලනය කිරීම සඳහා පවතින නීතිමය රාමුව උපරිමයෙන් ක්‍රියාත්මක කිරීමයි.



බුද්ධි නිලධාරීන්ගේ මනෝභාවයසුරැකීම.... 



රටක් වෙනුවෙන් දිවි පරදුවට තබා ක්‍රියා කරන බුද්ධි නිලධාරියෙකු, සුළු ලාභ අපේක්ෂාවෙන් ක්‍රියා කරන සාලිය ටී සහ යුද හමුදාවෙන් ඉවත් කළ දූෂිතයින් සහ මල් සින්දුකාරයින්ගේ වාචික ප්‍රහාරවලට ලක්වන විට, සමස්ත ආරක්ෂක පද්ධතියේම මානසිකත්වය කඩා වැටේ. බුද්ධි සේවය යනු පියවි ඇසට නොපෙනෙන යුද්ධයකි. එම යුද්ධය මෙහෙයවන රණවිරුවන් මාධ්‍ය හරහා නිරුවත් කිරීමට ඉඩ දීම ජාතික අපරාධයකි. ඔවුන්ව ආරක්ෂා කිරීම රජයක පරම වගකීමකි.


බුද්ධි සේවාවක ජීව රුධිරය වන්නේ "තොරතුරුකරුවන්"(Informants) ය. මිලේනියම් සිටි පාවාදීමෙන් පසු තොරතුරුකරුවන් සිය ගණනක් ඝාතනය විය. අද වන විට බුද්ධි අංශවලට පහර දෙන විට, නැවත වරක් තොරතුරුකරුවන් බියට පත් වේ. රටට තොරතුරු දීමට ඔවුන් මැලි වේ. මෙවැනි ද්වේෂසහගත ප්‍රකාශ කරන්නන් මර්දනය නොකළහොත්, රට ඇතුළත සිදුවන කුමන්ත්‍රණ පිළිබඳ තොරතුරු ලබා ගැනීමට ඇති මූලාශ්‍ර වියළී යනු ඇත.


මිලේනියම් සිටි පාවාදීම යනු රටේ ඉතිහාසය ලෙයින් ලියැවුණු පාඩමකි. එම වරද නැවත සිදු වීමට ඉඩ දිය යුතු නැත. මාධ්‍ය නිදහස හෝ ප්‍රකාශන නිදහස මුවාවෙන් ජාතික ආරක්ෂාව පාවා දෙන ඕනෑම පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් පිළිබඳව රටක් ලෙස අවදිව සිටිය යුතුය. බුද්ධි අංශ යනු රටක කොඳු නාරටියයි; එය බිඳ දැමීම යනු රටම මරණ මංචකයට ගෙන යාමකි.


ජාතික ආරක්ෂාව යනු සෙල්ලම් බඩුවක් නොවේ. සාලිය ටී ඇතුළු යුද හමුදාවෙන් ඉවත් කළ දූෂිත පුද්ගලයන් තම පටු අරමුණු වෙනුවෙන් බුද්ධි අංශ පාවා දීමට දරන උත්සාහය, මිලේනියම් සිටි පාවාදීමේ දෙවන අදියර වැනිය.


රටේ ස්වෛරීභාවය සහ මහජනතාවගේ ජීවත්වීමේ අයිතිය තහවුරු කිරීමට නම්, බුද්ධි අංශවලට එරෙහිව ක්‍රියාත්මක වන මෙම "ජඩමාධ්‍ය මෙහෙයුම්" වහාම නතර කරන්නට ආරක්ෂක ව්‍යුහය දුර්වල කරන මෙවැනි පිරිස් හට නීතියේ උපරිම දඬුවම් පැමිණවීම ජාතියේ අනාගතය වෙනුවෙන් කරන ආයෝජනයකි.




මධුෂාන් රණසිංහ✍️