Back to home
Alerte infoDefense

අඳුරෙන් මිදුණු යුධ හමුදාවේ අභිමානවත් පරිවර්තනය‍.....

අඳුරෙන් මිදුණු යුධ හමුදාවේ අභිමානවත් පරිවර්තනය‍.....

ඕනෑම ස්වෛරී රාජ්‍යයක ස්ථාවරත්වය සහ ජාතික ආරක්ෂාව තීරණය කරන ප්‍රධානතම සාධකය වන්නේ එරට සතු සන්නද්ධ හමුදාවන්හි විනය සහ අපක්ෂපාතීත්වයයි. ශ්‍රී ලංකා යුද්ධ හමුදාව යනු දශක තුනක දරුණුතම ත්‍රස්තවාදයක් පරාජය කරමින්, ගරිල්ලා සටන් විධි පරාජය කරමින් අභියෝග හමුවේ ජයග්‍රහණය තහවුරු කළ අභිමානවත් බලකායකි.


එහෙත්, යුද ජයග්‍රහණයෙන් පසු ගෙවීගිය කාලය තුළ, විවිධ දේශපාලන සුළි සුළංවලට හසුවීමෙන් සහ අභ්‍යන්තර පාලන ව්‍යුහයන් ලිහිල් වීමෙන් යුද්ධ හමුදාවේ ස්වාධීනත්වයට සහ විනයට යම් කැළලක් ඇති වූ බව නොරහසකි.



යුධ හමුදාවේ අඳුරු යුගය අවසන්.....



විවිධ පටු කල්ලිවාදී දේශපාලන සංකල්ප, යුධ හමුදාව තුළ පිළිලයක් මෙන් පැතිර යාම නිසා, වෘත්තීය දක්ෂතාවයට වඩා දේශපාලන හිතවත්කම් වලට මුල්තැන ලැබුණු අඳුරු යුගය කිසිවෙකුටත් අමතක නැත.


වර්තමාන යුද හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝගේ පත්වීමත් සමඟ ගමන් මඟ සම්පූර්ණයෙන්ම වෙනස් වී ඇති අතර, අද වන විට යුද්ධ හමුදාව තුළ "විනය" සහ "සාධාරණත්වය" පදනමක් ලෙස යළිත් ශක්තිමත් වෙමින් පවතී.


පසුගිය කාලසීමාව තුළ හමුදා අභ්‍යන්තරයේ වඩාත්ම විවේචනයට ලක් වූ කරුණ වූයේ උසස්වීම්, විදේශ පුහුණු අවස්ථා සහ වරප්‍රසාද ලබාදීමේ දී ක්‍රියාත්මක වූ පටු කල්ලිවාදී ක්‍රමයයි. මෙහිදී දක්ෂතාවය සහ ජ්‍යෙෂ්ඨත්වය පසෙකලා, පාලකයින්ට සමීප පුද්ගලයින්ට පමණක් සැලකීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක විය.


පාලකයින් හමුදාව තුළ තමන්ට ගැතිකම් කරන සුරතලුන් ඇති කිරීම නිසා යුද්ධ හමුදා ව්‍යුහයම කුණු ගඳ ගසන ස්ථානයක් බවට පත් වී තිබුණි. මෙය වසර ගණනාවක් රට වෙනුවෙන් කැපවූ අවංක නිලධාරීන්ගේ සහ සෙබළුන්ගේ මානසිකත්වය බිඳ වැටීමට ප්‍රධාන හේතුවක් විය.



"කෑ පතේ පහරන්නෝ" නොහොත් මඩකරියෝ....



ඒ සුරතලුන් විවිධ අවස්ථාවල විවිධ වෙස් ගනිමින් යුද්ධ හමුදාව විකුණා තමන්ගේ මඩිය තරකර ගැනීමේ ව්‍යාපාරයක නිරත වූහ. ඔවුන් ⁣විටෙක මල් සින්දුකාරයන් ලෙසිනුත්, තවත් විටෙක තවත් වෙස් ගනිමිනුත් තම තමන්ගේ භූමිකාව රඟ දැක්වූහ. නමුත් තමන්ගේ හාම්පුතුන්ට බලය අහිමි වූ පසු ඔවුන්ට සිදු වූයේ "බල්ලා මිය ගිය පසු මැක්කන්ට" උරුම වන ඉරණම අත්විඳින්නටය. ඉන්පසු ඒ මැක්කන්ට තමන්ගේ කූඨ ව්‍යාපාර සහ අනීතික වැඩ කටයුතුවලට ඉඩක් නොවුණු තැන තෝරා ගත්තේ හමුදාවට එරෙහි මඩ ව්‍යාපාරයයි. 


එවැනි මල් සින්දුකාරයින්ගේ මඩ ව්‍යාපාරයට, විවිධ වූ අපචාර නිසාවෙන් යුද හමුදාවෙන් පළවාහැරි අය මෙන්ම විවිධාකාරී දූෂිතයින්ද එක් වූහ. ඒ මඩ ගොඩක් දුටු තැන "ඌරන්" දුව එන්නාක් මෙන්ය.


කෙසේ වෙතත් ඔවුන් විසින් සිදු කරන මේ මඩ අවලාද නිසා හමුදාවට සිදුවන හානිය මේ මඩකරියන්ට තවමත් අවබෝධ වී නැත්තේ ඔවුන් යුද හමුදාවේ ලබා දෙන පුහුණුවවත් නිසි පරිදි නොගත් නිසාය. නිසි පුහුණුවක් ලද්දෙක් නම් කිසිදිනෙක තමා ගොඩනැඟූ යුද හමුදාවට පහර ගසන්නේ නැත. ඔවුන් මේ කරන අමනෝඥ ක්‍රියාවට ගැමි වහරේ කියන්නේ "කෑ පතේ පහරනවා" කියාය.



යුධ හමුදාවේ "සුරතලුන්" හැදීම අවසන්...



කෙසේ වෙතත්, වර්තමාන යුධ හමුදාපතිවරයාගේ සෘජු මැදිහත්වීම මත මෙම අසාධාරණ "සුරතලුන්" ඇති දැඩි කිරීමේ ක්‍රමවේදය දැන් මුළුමනින්ම නතර කර ඇත. අද වන විට සෑම උසස්වීමක්ම සහ වරප්‍රසාදයක්ම තීරණය වන්නේ විධිමත් පටිපාටියක්, විනිවිදභාවයක් සහ දක්ෂතාවය මත පමණි. "තමන්ගේ මිනිසුන්" යන පටු සීමාවෙන් ඔබ්බට ගොස්, සමස්ත හමුදාවම එකම පවුලක් ලෙස සලකා කටයුතු කරන සංස්කෘතියක් දැන් ස්ථාපිත වී තිබේ.


යුද්ධ හමුදාවක ප්‍රධානතම ශක්තිය වන්නේ සෙබළාගේ මානසික සුවතාවයයි. පසුගිය කාලයේ අකර්මණ්‍යය වී තිබූ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය වර්තමානයේදී ඉතා ප්‍රායෝගික වැඩපිළිවෙළක් සමඟ සක්‍රිය වී ඇත.


හුදෙක් උත්සව සහ ප්‍රචාරණ කටයුතුවලට සීමා නොවී, සෙබළුන්ගේ පවුල්වල ගැටලුවලට සෘජුව මැදිහත් වීමට එම ඒකකය අද කටයුතු කරයි.


විශේෂයෙන්ම, යුද්ධයේදී ආබාධිත වූ සහ වර්තමානයේ විශ්‍රාමිකව සිටින රණවිරුවන් අමතක කර දැමීමේ සංස්කෘතිය වෙනස් කරමින්, ඔවුන් වෙනුවෙන්ම කැපවූ "සුබසාධක සායන" සහ සහන සේවා රට පුරා ක්‍රියාත්මක වේ. රණක්ෂිතයට පත් රණවිරුවන්ගේ පෞද්ගලික අවශ්‍යතා, නිවාස ගැටලු සහ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා හමුදා මූලස්ථානයෙන් ලැබෙන සෘජු අනුග්‍රහය වත්මන් නායකත්වයේ මානුෂීය ගුණය මනාව පිළිඹිබු කරන්නකි.



පුනරුත්තාපනලාභීන් සතුටින්.....



රණවිරු සෙවණ, අබිමංසල, මිහිදු සෙත් මැඳුර වැනි සුවතා නිකේතනයන්හි පුනරුත්තාපනලාභීන් දැන් ඉන්නේ වෙනදාටත් වැඩියෙන් සතුටෙනි. ඒ මේ සුවතා නිකේතනවල⁣ට යුද හමුදාපතිවරයා නිරතුරුවම පැමිණ පුනරුත්ථාපනලාභීන්ගේ අවශ්‍යතාවන් සොයා බලන නිසාවෙනි.


එසේම රණක්ෂිතයට පත් ව සක්‍රිය සේවයේ නියුතුව සිටින නිලධාරීන්ට මේජර් ජෙනරල් නිලය දක්වා උසස් කිරීමට තිබූ බාධා ඉවත් කිරීම වෙනුවෙන් ජනාධිපතිවරයාට ඒ පිළිබඳ නිර්දේශ ඉදිරිපත් කිරීම අගය කළ යුතු කටයුත්තකි.


රට පවතින ආර්ථික අර්බුදය හමුවේ රාජ්‍ය වියදම් කළමනාකරණය කිරීම අත්‍යවශ්‍ය කරුණකි. වර්තමාන යුද හමුදාව එම වගකීම අකුරටම ඉටුකරමින් සිටී.



දූෂණය, නාස්තිය අවසන්, දැඩි මූල්‍ය විනයක්



හමුදා අභ්‍යන්තරයේ සිදුවන සෑම මූල්‍ය ගනුදෙනුවක්ම සහ ව්‍යාපෘතියක්ම දැඩි විගණනයකට ලක් කෙරේ. මෙහිදී නාස්තිය සහ දූෂණය අවම කිරීම සඳහා තාක්ෂණික ක්‍රමවේදයන් ද හඳුන්වා දී ඇත. එසේම බාහිර ආයතනවලට සිදුකරන්නට ඇති ගෙවීම් ප්‍රමාද කිරීමේ ඉතිහාසයක් යුද හමුදාවට තිබූ බව තතු දන්නෝ දනිති. නමුත් දැන් ඒ සියල්ල වෙනස් වී ඇත. නිසි වේලාවට අදාළ ගෙවිම් සිදුකිරීමට දැන් යුද හමුදාවට හුරු වී ඇත. ඒ වත්මන් යුධ හමුදාපතිවරයාගේ මැදිහත්වීම නිසාවෙනි.


වංචා සහ දූෂණවලට සම්බන්ධ වූ පුද්ගලයින්ට එරෙහිව තරාතිරම නොබලා දඬුවම් පැමිණවීම වර්තමානයේ කැපී පෙනෙන ලක්ෂණයකි. අතීතයේදී ඉහළ නිලධාරීන් ආරක්ෂා කිරීමේ සම්ප්‍රදායක් පැවතියද, අද වන විට දූෂිතයින්ට යුද්ධ හමුදාව තුළ ඉඩක් නොමැති බව ක්‍රියාවෙන් ඔප්පු කර ඇත. මෙය සමස්ත හමුදාවේම විනය ආරක්ෂා කිරීමට ඉවහල් වන ප්‍රබල පණිවිඩයකි.



හමුදා රෝහල් ක්‍රියාවලිය විනිවිද භාවයකින්....



යුද්ධ හමුදා රෝහල සම්බන්ධයෙන් පසුගිය කාලයේ විවිධ අක්‍රමිකතා, ඖෂධ හිඟයන් සහ පරිපාලන දුර්වලතා පිළිබඳ ජනමාධ්‍ය මගින් පවා හෙළිදරව්විය. වත්මන් යුධ හමුදාපතිවරයා යටතේ රෝහල් පරිපාලනය සම්පූර්ණයෙන් වෙනස් කර, එහි ක්‍රියාත්මක වූ විවිධ දූෂිත "වැටවල්" කඩා දමා ඇත.


ඖෂධ මිලදී ගැනීමේ සිට රෝගී සෙබළුන්ට ප්‍රතිකාර කිරීම දක්වා වූ සමස්ථ ක්‍රියාවලියම විනිවිද භාවයකින් යුතුව පවත්වාගෙන යාමට පියවර ගෙන තිබේ. මේ නිසා, සාමාන්‍ය සෙබළාට පවා කිසිදු බාධාවකින් තොරව උසස්ම මට්ටමේ සෞඛ්‍ය පහසුකම් ලබා ගැනීමේ අවස්ථාව උදා වී ඇත. යුධ හමුදා රෝහල යනු හුදෙක් ගොඩනැගිල්ලක් නොව, සැබෑ ලෙසම සේවයට කැප වූ ආයතනයක් බවට අද පත්ව තිබේ.



යුද්ධ හමුදාව රටේ නීතියට අනුගත යි..



යුද්ධ හමුදාව යනු රටේ නීතියට සහ රාජ්‍ය ප්‍රතිපත්තියට ඉහළින් සිටින ආයතනයක් නොවන බව වර්තමාන නායකත්වය අවධාරණය කර ඇත. අනවශ්‍යය වියදම් කප්පාදු කරමින්, රාජ්‍ය සම්පත් සුරකිමින් සහ සිවිල් පාලනයට ගරු කරමින් කටයුතු කිරීමට හමුදාව පෙළගස්වා තිබේ. හමුදා විනය යනු හුදෙක් නිල ඇඳුමට පමණක් සීමා වූවක් නොව, එය චර්යාව සහ අවංකභාවය මත පදනම් වූවක් බව අද වන විට හමුදාව තුළ මුල්බැස ගනිමින් පවතී.


ශ්‍රී ලංකා යුද්ධ හමුදාව අද පසු කරමින් සිටින්නේ එහි ඉතිහාසයේ ඉතා වැදගත් සන්ධිස්ථානයකි. දේශපාලන අතපෙවීම්වලින් මිදී, පටු වාසි සහ කල්ලිවාදයෙන් තොරව, වෘත්තීයවේදීත්වයට මුල්තැන දෙන හමුදාවක් නිර්මාණය කිරීම රටේ අනාගතයට මහඟු ආශිර්වාදයකි.


වර්තමාන යුධ හමුදාධිපතිවරයාගේ කැපවීම සහ සෘජු තීරණ නිසා, දූෂිතයන්ට දඬුවම් ලැබෙන, සැබෑ රණවිරුවාට ගෞරවය හිමිවන සහ ජාතික ආරක්ෂාව තහවුරු කෙරෙන නව යුගයක් උදා වී ඇත. මෙය හුදෙක් හමුදාව තුළ සිදුවන වෙනසක් නොව, සමස්ත දේශයම අපේක්ෂා කළ අභිමානවත් පුනරුදයකි.


මධුෂාන් රණසිංහ✍️