Back to home
Alerte infoPolitical

ලාල් කාන්ත, වාචාල කුලකයේ හාදයෙක් ද?

ලාල් කාන්ත, වාචාල කුලකයේ හාදයෙක් ද?


අපේ රටෙ වර්තමාන අමාත්‍ය මණ්ඩලයේ ජනප්‍රියම අමාත්‍යවරයා කවුරුන්ද යන්න ගැන විමසා බැලුවහොත් එහි ප්‍රථම ස්ථානයට එන්නේ ලාල් කාන්ත සහෝදරයාය. එසේත් නැතිනම් ගෞරවාර්ථයෙන් සඳහන් කරනවා නම්

ඉඩම් කෘෂිකර්ම හා වාරිමාර්ග ගරු අමාත්‍යවරයාය. 


ලාල් කාන්ත සහෝදරයා හොඳට නරකට දෙකට කටමය යැයි ජන ව්‍යහාරයේ එන උපහැරණයටද ගලපා ගත හැකි දේශපාලඥයාය. ඔහු යම් ප්‍රකාශයක් විවෘතව කරන්නේද වාචාල කමට නම් නොවේ. වාචාල කමට ප්‍රසිද්ධ දේශපාලඥයන් මෙරට ඕනෑ තරම් සිටී.

එහෙත් ලාල් කාන්ත සහෝදරයා ඒ කුලකයට අයිති නොවේ. ඔහු අයිති වන්නේ පැත්තක් ගියත්, කට කෑවාත් ඇත්ත කතා කරන ජාතියේ සමූහයටය. ලාල්  සහෝදරයා පුරවැසියන් අතර ජනප්‍රිය වී ඇත්තේ ඒ නිසාය.ඒ ජනප්‍රියතාවට විපක්ෂ දේශපාලනය තුළද ගරු කිරීමක් පවතී.


මේ වන විට බොහෝ පුරවැසියන් අතර පවතින අදහසක් වන්නේ ජාජබ ආණ්ඩුවේ මැති ඇමති මන්ත්‍රී සහෝදරයෙකු, සහෝදරියක ලේසි පාසුවෙන් දුරකථනයෙන් සම්බන්ධ කර ගත නොහැකි බවය. ඒ අදහස පට්ට ඇත්ත බව අපට තහවුරු කළ හැක්කේ ජනපතිවරණයට හා මහා මැතිවරණයට පෙර අප සමග සම්බන්ධව ⁣දුරකථනයෙන් තොරතුරු දුන් බොහෝ උන්දැලා දැන් ලෙසටම ඇඳ සිටින බව අත්දැකීමෙන් දැනෙන නිසාය. 


වෙනදා කතා කළ කොම්රේඩ්ලා දැන් ගරු කෑල්ල ඔළුවට අරගෙන ඔළුව ඉදිමී ගොසින් යැයි අපට සිතේ. මේ කොම්රේඩ්ලා ගැන එළු අත්තනගලු වංංශයෙන් උපුටා දක්වන්නේ නම්  ඒ මෙහෙමය.


"...රාජ්‍ය ශ්‍රී නැමති සුරා මදයෙන් මත් වූ සමහර කෙනෙක් සභා නැමති විලට කණ කොකුන් වැනි වූවාහු, බොරු ස්තූතියෙහි දක්ෂ වූ කපුටයන් විසින් රවටනු ලබන්නාහු , ඔවුන් කරන කියන සියල්ල ඇත්ත යැයි ආරෝපනය කර ගන්නා ලද තුච්ඡ අභිමාන ඇත්තාහු, දෙවියන්ගේ අංශයකින් උපන්නවුන් මෙන්ද දෙවියන් සහිත වූවන් මෙන්ද, මිනිස් බව ඉක්මවූවන් මෙන්ද තමන්ගේම ආත්ම මදයෙන් තුමූ ම මත්වී ඉදිමෙන්නාහුය..."


එහෙත් ඒ අතරේ ලාල් කාන්ත සහෝදරයා ජාජබ ආණ්ඩුව ගොඩ දාගෙන පුරවැසියන් සමග කරට අත දාගෙන බලය යාවත්කාලීනව පවත්වා ගෙන යාමට  ගන්නා ප්‍රයත්නය අගය කළ යුතුමය.


ජාජබ ආණ්ඩුව කෙරෙහි රජයේ ලොකු පුටුවල ඉන්නා නිළමක්කාරයන් තුළ ඇත්තේ මූණ ඉච්චා ගණුදෙනුවකි.


අපට හිතෙන විදියට ජාජබ ආණ්ඩුව මුල් වරට කෙලවා ගත්තේ මේ සැබෑව හරි හැටි තේරුම් නොගත් නිසාය. අනුර සහෝදරයා ජනපතිවරයා ලෙස පත් වීමත් ජාජබ ආණ්ඩුව බලයට ඒමත් සමගම රජයේ බොහෝ ඉහළ තරාතිරමේ නිළමක්කාරයන් හි⁣ටියේ දැඩි තැති ගැනීමකිනි. ඔවුන් සිතා ගෙන සිටියේ වෙනදා සෙල්ලම් නැවත කරන්නට ඉඩක් නොලැබෙනු ඇති බවටය. 


එක්තරා පොලිස් ලොක්කෙක් ඔය කියන ඡන්ද වලට පෙර අප සමග පැවසුවේ ජේවීපී බල්ලන් ටයර් උඩ නොදමා වැඩේ ගොඩ දාගන්න බැරි සයිස් එකක් මතු වී ඇති බවය. මේ උන්දෑ රාජපක්ෂවරුන් උදය හවස වන්දනා කළ සට්ටැඹියෙකි. දැන් ඔහු අපූරු වෙස් මුහුණක් දමා ගෙන රාජකාරි කරන හැටි දකින විට අපට හිනා යන්නේ කටින් නොවේ. පස්සා පැත්තෙනි.


එපමණක්ද නොවේ ඔහු හා කතා බව කරන විට ලැබෙන පළමු පැයේදීම ජේවීපී කාරයන් ටයර් උඩ දාන්නට ඔහු සූදානම්ව සිටී. ඉන් තේරුම් ගත හැක්කේ තවමත් ඔහුගේ ආකල්ප වල වෙනසක් වී නැති බවය. මෙරට අවුරුදු හැත්තෑවක දේශපාලනය තුළ රාජ්‍ය යාන්ත්‍රණයේ ඉහළ නිළමක්කාරයන් ඇගෑළුම් කම් පෑවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ හා එජාප දේශපාලනය සමගය. ශ්‍රී  ලංකා දේශපාලනය පොහොට්ටුව ලෙසද එජාප දේශපාලනය සජබ ලෙසටද රූපාන්තරණය වුවද ඒ ඇගෑළුම් කම් වල කිසිම වෙනසක් නොවීය. 


ජවිපෙ දේශපාලනය සමග රාජ්‍ය යාන්ත්‍රණයේ මුදුනේ සිටි වුන් සම්බන්ධ කම් තිබුණේම නැති ගානය. ජවිපෙ දේශපාලනය ජාතික ජන බලවේගය ලෙස පරිවර්තනය වීමෙන් පසුව රජයේ ඉහල තනතුරු දැරූ අතලොස්සක් දෙනා රහසේ එයට මතවාදීව සහයෝගය දැක්වූ නමුත් ඒ බැඳීමද "එපා වාහෙට හොදි බෙදන" හැඩයේ සහයෝගයක් විය. 


ජාජබය බලයට පත් වීමත් සමගම රාජ්‍ය යාන්ත්‍රණය හැසිරවීමට පත් කිරීීීම් සඳහා  විශ්වාසදායකයන් නොවීය. ඒ නිසාම ජාජබ ඇමතිවරුන් රාජ්‍ය පරිපාලන නීති රීති යටතේ රාජ්‍ය යාන්ත්‍රණයට නිදහසේ රාජකාරි කිරීමට ඉඩ දෙන ලද බව සිතිය හැකිය. එය හරියට පට්ටි ගොනුන් රැළක් සිර කර ගෙන සිටි පට්ටියක ගේට්ටු ඇරියා වගේ වූ බව සිතේ. ඇතැම් රාජ්‍ය ආයතන තවමත් පිස්සු කෙළිින බව අසන්නට ලැ⁣බෙන්නේ ඒ නිසාය. රජයේ සමහර ලොක්කන් ඇඟිලි ගනිමින් සිටින්නේ "තොපිට දෙන්නම් බැටේ" යැයි ගණන් හදමිනි. ජාජබ ආණ්ඩුව ඉදිරියට ඇද ගෙන යාමට සිද්ධ වී ඇත්තේ මේ වටපිටාව තේරුම් ගනිමිනි.


එහෙත් ජාජබයේ මැති ඇමතිවරුන් පිස්සු කෙළන්නට ගත හොත් ආණ්ඩුවට කෙල වෙන කෙලවිල්ල ගනන් හදා උත්තරය හොයා ගන්නටත් බැරි තරමේය. තවමත් ආණ්ඩුවේ හෘද ස්ඵදනය බවට පත් වී ඇත්තේ අනුර සහෝදරයාය. ඔහු ගේ යෝධ පෞරෂයට අභියෝග කරන්නට මෙතෙක් විපක්ෂයට නොහැකි වී තිබෙන බවද පැහැදිලිය. ජාජබ ආණ්ඩුවේ උද්දච්ච උන්නැහේලා වටහාගත යුත්තේද මේ සාරංශයයි.


අඩුම ගානේ ලාල් සහෝදරයා ගෙන් ඉගෙන ගන්ට යැයි අපට ලියන්නට සිදු වී තිබේ. ලාල් සහෝදරයා දේශපාලනය කරන්නේ මහ පොළවේය. ඇමතිකම කරන්නේද මිනිසුන් අතරේ සිට ගනිමිනි. මෙන්න මේ කෙරුවාව ජාජබයේ අනෙක් උන්දැලාටද අනුගමනය කරන්නට තහංචියක් ඇත්තේද නැත.


ඔහු මහජන සම්බන්ධීකරණය සඳහා අපූරු වැඩකට අත ගසා තිබේ. ඒ තමන්ගේ ඇමති විෂය පථය යටතේ ප්‍රශ්ණ වලට මැදිවී සිටින පුරවැසියන්ට ඔහු හමුවන්නට අවස්ථාවක් සලසා දෙමිනි. එසේත් නැතිනම් එවැනි පුරවැසියන්ට ඔහු ගෙන් මාර්ගෝපදේශනය සඳහා ඉඩක් විවර කරමිනි. මේ බව ඔහු විසින් ඔහුගේ ෆේස් බුක් පිටුවෙි සඳහන් කර තිබේ.


තම අමාත්‍ය විෂය පථය තුළ ප්‍රශ්ණයකට මැදිවී සිටින පුරවැසියන්ට 071 24 73104 දරණ ඔහුගේ වට්ස් ඇප් අංකයට වොයිස් මැසේජයක් තබන ලෙස ලාල් කාන්ත සහෝදරයා ඒ සටහනේ සඳහන් කර සිටී. තමන් හමුවීමට කැමැති පුරවැසියන් 

0718103579 අංකයෙන් සම්බන්ධීකරණ ලේකම් ගාමිණි සේනාරත්න හෝ 075 8040110 රනිල් විමලරත්න හෝ සම්බන්ධ වී ⁣දිනයක් වෙන් කර ගන්නා ලෙසද එහි සඳහන්ය. මහනුවරදී තමන් හමුවීමට අවශ්‍ය  පුරවැසියන් 0714464857 අංකයෙන් සම්බන්ධීකරණ ලේකම් කපිල ගෙන් විමසන ලෙසද ලාල් කාන්ත සහෝදරයාගේ මේ නිවේදනයේ දැක්වේ.


ජාජබ ආණ්ඩුවට එරෙහිව බොහෝ පුරවැසියන් නගන චෝදනාවකට පිළිතුරක් ලෙස ලාල් කාන්ත සහෝදරයා ගන්නා ලද පිවිසුම විශිෂ්ටය. මෙය වඩාත් විශිෂ්ට වන්නේ ආණ්ඩුවේ අනෙක් උන්දැලාද මේ විදියට මහ පොළොවට බැස්සා නම් පමණය.


බොහොම ස්තූතියි ලාල් සහෝදරයා.

ඇත්තටම ඔය මැදිහත්වීමට මේ රටේ බහුතරයක්ගේ බාසාවෙන් ස්තූති කරනවා නම් බොහොම පින් හොඳේ.


දක්ෂිණ ලියනාරච්චි ✍️