ජනාධිපති අනුරට විවෘත ලිපියක්...

අධිචෝදනා ලබා දී ඇති අමාත්‍යවරයකු විධායකයේ තබා ගෙන සාධාරණ හා යුක්ති සහගත නඩු විභාගයක් පැවැත්වීමට හැකි ද ? යන ප්‍රශ්නය විමසමින්, නීතීඥ රවී ජයවර්ධන මහතා විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලියා ඇති ලිපියක් ඔහු තම මුහුණු පොතේ පළ කර තිබේ.
පහතින් දැක්වෙන්නේ ඔහු විසින් ලියන ලද එම සම්පූර්ණ ලිපියයි.
මා හිතවත් අනුර සහෝදරයා වෙත,
මහාධිකරණය මගින් අධිචෝදනා පත්‍ර භාරදී ඇති ඔබතුමාගේ රජයේ ඇමති වරයා සම්බන්ධවයි.
ගරු ජනාධිපතිතුමනි,
අතිපූජ්‍ය මාදුළුවාවේ සෝභිතහිමියන් 2011 වසරේ දී සාධාරණ සමාජයක් සඳහා වු ජාතික ව්‍යාපාරය ආරම්භ කිරීමෙන් පසුව උන්වහන්සේ මුණගැසුන පළමු දේශපාලන පක්ෂ නායකයා ඔබ වු අතර, පැලවත්ත කාර්යාලයේ දී සිදු වු එම හමුවේදී සාධාරණ හා යුක්ති සහගත සමාජයක් මේ රටේ ගොඩනගන්නට කරන ලද සාකච්ඡාව හා කරුණු ඔබතුමාට මතක ඇතැයි සිතමි.
ඉන් පසුව මහත් බලාපොරොත්තු සහිතව 'යහපාලන' රජය මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නායකත්වයෙන් බිහිකිරීම සඳහා ඔබ ලබාදුන් දායකත්වය හා කැපකිරීම සාධාරණ සමාජයක් සදහා අපගේ බලාපොරොත්තු ඉටුකර ගැනීමට දැරු තවත් ප්‍රයත්නයක්විය. (එම රජයේ පැවති පටු පරමාර්ථ නිසා එම බලාපොරොත්තු විනාශ වී ගිය බව වෙනම කරුණකි.)
ඉන්පසුව පසුගිය රජයේ අනීතික හා ප්‍රජාතන්ත්‍ර විරෝධී පාලන කටයුතුවලට එරෙහිව ඔබ පාර්ලිමේන්තුවේ විපක්ෂ මන්ත්‍රිවරයකු ලෙසත්, මා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ලේකම් ලෙසත් එක්ව හා තනි තනිව හඩනගන ලද ආකාරයත් සිහිපත් කරමි.
අධිචෝදනා ලබා දී ඇති අමාත්‍යවරයකු විධායකයේ තබා ගැනීම සාධාරණ හා යුක්ති සහගත නඩු විභාගයක් පැවැත්වීමට බාධාවන බව මාගේ විශ්වාසයයි. එහෙයින් ප්‍රජාතන්ත්‍රවාදය විශ්වාස කරන නායකයකු ලෙස නඩු විභාගය අවසන් වන තුරු එම අමාත්‍යවරයා තාවකාලිකව ධුරයෙන් ඉවත්කර තබන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි.
රවී ජයවර්ධන