ඇමරිකාව සහ ඊශ්‍රායලය අතර මතභේදයක්...

ඉරානයේ තෙල් පහසුකම්වලට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාර සම්බන්ධයෙන් ඊශ්‍රායලය සහ එක්සත් ජනපදය අතර මේ වන විට මතභේදයක් මතු වී තිබේ.
මෙවැනි මතභේදයක් ඇති වී ඇති අවස්ථාවක, එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තානාපතිවරුන් වන ස්ටීව් විට්කොෆ් සහ ජැරඩ් කුෂ්නර් යන දෙදෙනා එළැඹෙන අඟහරුවාදා හදිසි සාකච්ඡාවක් සඳහා ඊශ්‍රායලයට පැමිණීමට සැලසුම් කර ඇති බව ඇමරිකානු ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් 'චැනල් 12 ' වෙත පවසා තිබේ.
තෙල් යටිතල පහසුකම් ඉලක්ක කර ගැනීමේ සැලසුම් පිළිබඳව ඊශ්‍රායලය වොෂින්ටනයට කල්තියා දැනුම් දී ඇති නමුත්, ප්‍රහාර එතරම් පුළුල් වනු ඇතැයි සඳහන් නොකළ බව ඇමරිකානු ජ්‍යෙෂ්ඨ ආරක්ෂක නිලධාරියෙක් 'චැනල් 12' වෙත පවසා ඇත.
ඊශ්‍රායලය විසින් සිදු කළ එම පහරදීම ගැන අදහස් දක්වමින් ඇමරිකානු ජ්‍යෙෂ්ඨ ආරක්ෂක නිලධාරියා, "අපි හිතන්නේ නැහැ ඒක හොඳ අදහසක් කියලා," යනුවෙන් ප්‍රකාශ කර ඇත. එක්සත් ජනපද හමුදාව බොහෝ දුරට සංකේතාත්මක ප්‍රහාරයක් අපේක්ෂා කළ බවත් මෙහෙයුමේ විෂය පථය ගැන තමන් පුදුම වූ බවත් ඔහු වැඩිදුරටත් පවසා ඇත.
ටෙහෙරානයේ සිවිල් ජනතාවට ඉන්ධන සපයන යටිතල පහසුකම් ඉලක්ක කර ගැනීම, ඉරාන තන්ත්‍රය ශක්තිමත් කිරීමක් මෙන්ම මහජන මතය ඊශ්‍රායලයට සහ එක්සත් ජනපදයට එරෙහිව හැරවීමෙන් පසුබෑමක් ඇති කළ හැකි බවට එක්සත් ජනපද නිලධාරීන් කනස්සල්ලට පත්ව සිටින බව එම නිලධාරියා තවදුරටත් පවසා තිබේ.
මේ සම්බන්ධයෙන් 'චැනල් 12' ට අදහස් දක්වන ලද ඊශ්‍රායල ආරක්ෂක නිලධාරියෙකු පවසා ඇත්තේ, ඉන්ධන ගබඩාවලට එල්ල වූ ප්‍රහාරය, ඊශ්‍රායලයේ සිවිල් ස්ථාන ඉලක්ක කිරීම නවත්වන ලෙස ටෙහෙරානයට පණිවිඩයක් යැවීමේ අරමුණින් සිදු කළ බවයි.
මේ අතර එක්සත් ජනපද බලශක්ති ලේකම් ක්‍රිස් රයිට් පැවසුවේ, එක්සත් ජනපදය ඉරාන බලශක්ති යටිතල පහසුකම් ඉලක්ක නොකරන බවයි.
ජගත් බන්ධු ✍️