ස්පාඤ්ඤයේ ස්ථාවරය වෙනස් වී නෑ, ධවල මන්දිර ප්‍රකාශය බොරුවක්. ස්පාඤ්ඤය අවධාරණය කරයි....

එක්සත් ජනපද හමුදාව සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට ස්පාඤ්ඤය එකඟ වූ බවට ධවල මන්දිරය කළ ප්‍රකාශය ස්පාඤ්ඤය ප්‍රතික්ෂේප කර තිබේ.
එසේම ස්පාඤ්ඤය සමඟ වෙළඳාම කපා හරින බවට ට්‍රම්ප් විසින් සිදු කළ තර්ජනය නොතකා, ඉරානයට එරෙහි යුද්ධයට ස්පාඤ්ඤය තම විරුද්ධත්වය නැවත අවධාරණය කර ඇත.
ඉරානයට එරෙහි යුද්ධයේදී, රටේ හමුදා කඳවුරු සඳහා අවසර දීම ප්‍රතික්ෂේප කිරීමේ ස්පාඤ්ඤ ස්ථාවරය වෙනස් වී ඇති බව ධවල මන්දිර ප්‍රකාශිකා කැරොලයින් ලෙවිට් බදාදා ප්‍රකාශ කළාය.
"ස්පාඤ්ඤය සම්බන්ධයෙන්, මම හිතන්නේ ඔවුන් ඊයේ ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ පණිවිඩය ශබ්ද නඟා සහ පැහැදිලිව අසා ඇති අතර, පසුගිය පැය කිහිපය තුළ ඔවුන් එක්සත් ජනපද හමුදාව සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට එකඟ වී ඇති බව මගේ අවබෝධයයි," යනුවෙන් ධවල මන්දිර ප්‍රකාශිකා කැරොලයින් ලෙවිට් වාර්තාකරුවන්ට පැවසීය.
ස්පාඤ්ඤ රජය ඇයගේ එම ප්‍රකාශය කඩිනමින් ප්‍රතික්ෂේප කළේය. ස්පාඤ්ඤ විදේශ අමාත්‍ය ජෝස් මැනුවෙල් ඇල්බරේස් පැවසුවේ ධවල මන්දිරයේ ප්‍රකාශය තමන් "තදින් ම" ප්‍රතික්ෂේප කරන බවයි.
" අපේ ස්ථාවරයේ එක කොමාවක්වත් වෙනස් වෙලා නැහැ, ඒගොල්ලෝ මොනවා ගැනද කියන්නේ කියලා මට කිසිම අදහසක් නැහැ," යැයි මැනුවෙල් ඇල්බරේස් පවසා ඇත්තේ හෝරා25 (Hora25 ) නමැති ගුවන් විදුලි වැඩසටහනට සහභාගී වෙමින් ය.
යුද්ධයට ස්පාඤ්ඤය දක්වන විරෝධය ට්‍රම්ප් විසින් පසුගිය අඟහරුවාදා, "භයානක" ලෙස විවේචනය කළේය.
එක්සත් ජනපද ජනාධිපතිවරයා පැවසුවේ "අපි ස්පාඤ්ඤය සමඟ ඇති සියලුම වෙළඳාම කපා හැරීමට යනවා. අපට ස්පාඤ්ඤය සමඟ කිසිම සම්බන්ධයක් අවශ්‍ය නැහැ," යනුවෙනි.
නමුත් ස්පාඤ්ඤය ඇමරිකානු ආර්ථික තර්ජනය හමුවේ තම විරෝධය හකුලා නොගත් අතර, තමන් තුළ යුද්ධයට ඇති විරෝධය නැවත අවධාරණය කළේය.
ස්පාඤ්ඤ අගමැති පේද්‍රෝ සැන්චෙස් බදාදා X හි ලියා තිබුණේ, “ලෝකය, යුරෝපය සහ ස්පාඤ්ඤය මීට පෙර මෙවැනි තීරණාත්මක මොහොතට මුහුණ දී තිබේ. 2003 දී, වගකීම් විරහිත නායකයින් කිහිප දෙනෙකු අපව මැද පෙරදිග නීති විරෝධී යුද්ධයකට ඇද දැමූ අතර එය අනාරක්ෂිතභාවය සහ වේදනාව හැර අන් කිසිවක් ගෙන ආවේ නැත,” යනුවෙනි.
ස්පාඤ්ඤයේ ස්ථාවරය වන්නේ යුද්ධය, ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීම් සහ “අපට බෝම්බවලින් ලෝකයේ ගැටලු විසඳා ගත හැකි බවට ඇති මිත්‍යාව” ප්‍රතික්ෂේප කිරීම බව ඔහු තවදුරටත් පැවසීය.
ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් බදාදා ස්පාඤ්ඤයේ මෙම ස්ථාවරය අගය කළේය.
"සියොන්වාදී-ඇමරිකානු සන්ධානයේ දරුණු මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සහ ඉරානය ඇතුළු රටවලට එරෙහි මිලිටරි ආක්‍රමණවලට එරෙහිව ස්පාඤ්ඤයේ වගකිවයුතු හැසිරීම, බටහිර රටවල ආචාර ධර්ම සහ අවදි වූ හෘදය සාක්ෂිය තවමත් පවතින බව පෙන්නුම් කරයි," යනුවෙන් ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් සමාජ මාධ්‍ය සටහනක මගින් පැවසීය.
"ස්පාඤ්ඤ නිලධාරීන්ගේ ස්ථාවරයන් සඳහා මම ප්‍රශංසා කරමි." යැයි ඔහු වැඩිදුරටත් පැවසීය.
ඇමරිකාව සහ ඊශ්‍රායලය එක්ව ඉරානයට එරෙහිව සිදු කරන ප්‍රහාරයට එරෙහිව, ස්පාඤ්ඤය මේ වන විට යුරෝපයේ කැපී පෙනෙන චරිතයක් ලෙස මතුවී තිබේ.
ඉරානයට එරෙහි එක්සත් ජනපද සහ ඊශ්‍රායල ප්‍රහාරය ප්‍රතික්ෂේප නොකරන යුරෝපා සංගමය, ගැටුම් අවම කර සිවිල් වැසියන් ආරක්ෂා කරන ලෙස ඉල්ලා තිබේ. එය එය සෘජු නොවන අපැහැදිලි ස්ථාවරයකි.
එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය එක්ව ඉරානයට එරෙහිව ප්‍රහාරය ආරම්භ කිරීමෙන් පසුව යුරෝපා සංගමයේ විදේශ ප්‍රතිපත්ති ප්‍රධානී කජා කල්ලස් පවසා සිටියේ, "ඉරාන පාලන තන්ත්‍රය දහස් ගණනක් මරා දමා ඇත. එහි බැලස්ටික් මිසයිල සහ න්‍යෂ්ටික වැඩසටහන්, ත්‍රස්ත කණ්ඩායම් සඳහා සහාය වීම සමඟ, ගෝලීය ආරක්ෂාවට බරපතල තර්ජනයක් එල්ල කරයි," යනුවෙනි.
යුරෝපා සංගමය ඉරානයට එරෙහිව දැඩි සම්බාධක පැනවූ අතර න්‍යෂ්ටික ගැටලුව ඇතුළුව රාජ්‍ය තාන්ත්‍රික විසඳුම් සඳහා සහාය දැක්වීය.
නමුත් ස්පාඤ්ඤය මේ වන විට ඊශ්‍රායලය විසින් ගාසා තීරයට එරෙහිව සිදු කළ ජන සංහාරක යුද්ධයට ද දැඩි විවේචනයක් එල්ල කර තිබේ.
ජගත් බන්ධු ✍️